ගතට තදින් සුළං වදිනවාටවත් අකැමැති නමුත් රූප සොබාවට හිත ගිය අපේ ලලනාවෝ හිසෙහි සිට පාදාන්තය දක්වා ඕනෑම තැනක් සිදුරු කර ආභරණ පැලඳීමට නම් මැළි නොවෙති. “බොඩි පියර්සිං” නමින් හඳුන්වන මේ කලාව අපේ කාන්තා පක්ෂය හිතින්, හදවතින් වගේ ම ගතින් ද වැලඳ ගෙන අවසන්ය. එහෙත් මේ විද ගැනීමෙන් බඹර, දෙබර විද ගැනීමකටත් වඩා උග්‍ර විසක් මාරාන්තික විසක් ශරීරගත විය හැකියි.
“බොඩි පියර්සිං” අද කාලයේ කලාවක් නොවෙයි. අනාදිමත් කාලයක සිට පැවත එන කලාවකි. රූසපුව කැපී පෙනෙන්නට ජනපි්රයතාවට, සමාජයේ තැනක් ගැනීමට අබරණ පැලඳීමට පෙලඹෙති. ජනපි‍්‍රය පුද්ගලයන් රැසක්ම “බොඩි පියර්සිං” කලාවෙන් බැබළීම ද බොහෝ දෙනකු එය වැලඳ ගැනීමට හේතුවකි.
මෙසේ පලඳන ආභරණ රත්තරන්, ටයිටේනියම්, නිකල් වැනි ලෝහවලින් තැනුවත් ඒවා ද අසාත්මික වෙයි. විශේෂයෙන්, නිකල් වැනි ලෝහ අසාත්මිකය. අබරණ පැලඳීමට යා යුතු රූපලාවණ්‍යාගාර බොහොමයක් ප්‍රමිතියකින් තොරයි. මේ නිසාම අසාත්මිකතා තුවාල ඇතිවීම වැනි ගැටලු ඇතිවීමේ ඉඩ ද වැඩියි.
සිරුරේ විදීම් නිසා සමහර ස්ථානවල සිදුවන තුවාලවලින් නතර කළ නොහැකි තරම් රුධිරය ගලයි. තුවාලවලින් විසබීජ ඇතුළු වී “ටොක්සික් බැක්ටීරියා ආසාදනය වී රුධිරය විසවීමෙන් මේ තත්ත්වය ඇති වේ. එය මරු කැඳවන සෞඛ්‍ය ගැටලුවකි.
විසබීජහරණය නොකළ අබරණවලින් බොඩි පියර්සිං කිරීමෙන් පිටගැස්ම හටගැනීමේ අවදානමක් ද පවතී. එච්අයිවී, හෙපටයිටිස් බී, සී, ඇතිවිය හැකි අනිකුත් බරපතළ රෝගාබාධයි.
- කනේ රුධිරය පිටවීමේ අවදානමක්
කනේ තුවාලයක් සිදුවූ විට අධික ලෙස රුධිරය වහනය වීමේ අවදානමක් ද පවතී. සිදුරු කළ තැන මස් ලියැලීමෙන් කීලොයිඩ් නම් ගෙඩි ස්වභාවයක් ඇතිවේ.
පෙකණිය වටා විද ආභරණ පැලදීමෙන් ද කීලොයිඩ් හටගනී. ඒ වාගේම පෙකණිය අවට විදීම් නිසා ඇතිවන තුවාල සුවවන්නේ ප්‍රමාද වීලාය.
- දිව දෙපළු වෙයි
බොඩි පියර්සිංවලින් කාන්තා සිරුරේ තන පඩුවට පවා ගැලවීමක් නැත. තන පුඩු ද විද කරාබු දමයි. දරුවාට කිරි දෙන කාලයේදී තන පුඩු විද කරාබු දැමීම කිරිදීමට බාධාවකි. තන පඩුවල විදීම් සුව වීමට ද කාලයක් ගත වෙයි.
බැක්ටීරියල් එන්ඩොකාඩයිටිස් නමින් හඳුන්වන හෘද වස්තුවේ අභ්‍යන්තර බිත්තියේ ඇතිවන බැක්ටීරියා ආසාදන තත්ත්වයට ද බොඩි පියර්සිං මඟ පාදයි. ගැහැනු පිරිමි දෙපිරිසම රහස් අවයව සැරසීමට ද බොඩි පියර්සිං යොදා ගනියි. මෙයින් නැති ගැටලු රැසක් ඇතිවෙයි. ආසාදන ඉන් අංක එකේ ස්ථානය ගනී. මුත්‍රා මාර්ගය අවහිර වීම, මුත්‍රා පිට කිරීම අසීරු වීම ඇතිවන බරපතළ සෞඛ්‍ය ගැටලු කිහිපයකි.
උපත් පාලන ක්‍රම අනුගමනය කරන කාන්තාවන්ට නිසි ලෙස උපත් පාලනය සිදු නොවීමට ද මෙය හේතුවකි.
බොඩි පියර්සිං කොතැන කළත් ඒවා පැටලීමේ අවදානමක් පවතී. අබරණ පැටලී තුවාල වීමෙන් රුධිරය වහනය වීමට මෙන්ම ආසාදන ඇතිවීමේ ඉඩ කඩක් ද ඇත.
තොල් සිදුරු කිරීමේදී විශාල රුධිර වහනයක් සිදුවිය හැකිය. දිවේ පියර්සිං කිරීමේදී වාගේම තොල්වල පියර්සිං කිරීමේදී කථා කිරීමේ ගැටලු ඇතිවීමට පුළුවන. සියල්ලටම වඩා ආහාර ගැනීමේ ගැටලු ඇතිවිය හැකියි. තොල් අසාත්මිකතා වැඩිපුරම ඇතිවන ස්ථානයකි.
උපදෙස් - බලපිටිය මූලික රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය අජිත් කන්නන්ගර.
